ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ද්විත්ව පුරවැසිභාවය

ද්විත්ව පුරවැසි අයදුම්කරුවන් සඳහා උපදෙස්

1. ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කළ හැක්කේ

1948 අංක 18 දරන පුරවැසි පනතේ අංක 19, 20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු පුද්ගලයෙකුට හෝ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න පුද්ගලයෙකුට පමණි.

   1.  පනතේ 19(2) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයෙකුට හෝ

   2. පනතේ 19(3) වගන්තියේ විධිවිධාන යටතේ වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීමේ අවශ්‍යතාවය මත ශ්‍රී ලාංකික පුරවැසිභාවය රඳවා ගැනීමට අවශ්‍ය වු අයෙකුට

පමණක් ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉල්ලා අයදුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය.

 

2. අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමට අදාල උපදෙස් -

  1. අයදුම්පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සම්පුර්ණ කළ යුතු වේ.  (කරුණාකර ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කරන්න.)
     
  2. අයදුම් පත්‍රයේ * සළකුණ යොදා ඇති සෑම අවස්ථාවකදීම අදාල නොවන වචනය හෝ වචන කපා හරින්න.
     
  3. අයදුම් පත්‍රයේ අදාල නොවන කොටස් වේ නම් අදාල නොවන බව නිශ්චිත ස්ථානයන්හි සඳහන් කරන්න.
     
  4. එකම පවුලක වුවද සෑම අයදුම්කරුවෙකු සඳහාම වෙන් වෙන්ව අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු වන අතර ඒ සමඟ 3.5  x 4.5 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 3 ක්ද ඉදිරිපත් කළ යුතු වේ.  ඉන් එක් ඡායාරූපයක් අයදුම් පත්‍රයේ දකුණු පස ඉහල කෙළවර ඡායාරූපය ඇලවීම සඳහා වෙන්කර ඇති කොටුව තුල අලවන්න.
  5. ද්විත්ව පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා අයදුම් පත්‍රයේ අංක 1 යටතේ දක්වා ඇති A සිට G දක්වා ඇති සුදුසුකම් අතුරින් එක් සුදුසුකමක් පමණක් සම්පුර්ණ කර තිබීම ප්‍රමාණවත් වේ. ඒ අනුව අදාල සුදුසුකම ඉදිරිපස දැක්වෙන කොටුව තුල (√) සලකුණ යොදන්න.
     
  6. අයදුම්පත්‍රයේ 6 පිටුවේ දක්වා ඇති දිව්රුම් ප්‍රකාශය අයදුම්කරු විසින් සම්පුර්ණ කර එය සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් සහතික කළ යුතු වේ.
     
  7. පරිගණක දත්ත පත්‍රිකාව ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් පිරවිය යුතුය.

3. ද්විත්ව පුරවැසිභාවය ඉල්ලුම්කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි -

  1. අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත් (අංක 01 සටහන බලන්න.) (අයදුම්කරු ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් පුරවැසි පනත යටතේ නිකුත් කරන ලද සහතිකය හෝ එහි පිටපතක් ඉදිරිපත් කරන්න.)
     
  2. අයදුම්කරු විවාහක නම්, විවාහ සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කල පිටපත (අංක 01 සටහන බලන්න.)
     
  3. අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු ලබන්නේ පුරවැසි පනතේ 19(2) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වු අයකු නම්, පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
    • විදේශිය පුරවැසි සහතිකය හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)

    • දැනට විදේශීය පුරවැසිභාවය දරනු ලබන රටෙහි විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම් වලට අදාල පිටුවල සහතික කළ පිටපත්  (අංක 01 සටහන බලන්න.)

    • වයස අවුරුදු 16 ට වැඩි අයදුම්කරුවන් දැනට පුරවැසිභාවය දරනු ලබන රටෙන් ලබාගත් පොලිස් නිශ්කාෂණ සහතිකය (අදාල සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු දිනට මාස 03කට නොවැඩි කාලයක් තුල ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු සහතිකයක් විය යුතු අතර එම සහතිකය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නොමැති නම් ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟ ඉදිරිපත් කරන්න.)

    • ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම්වලට අදාල පිටුවල පහතික කළ පිටපත් (අදාල ගමන් බලපත්‍රය තිබේ නම් පමණක්)


      හෝ

       

      අයදුම්පත්‍රය ඉදිරිපත් කරනු ලබන්නේ පුරවැසි පනතේ 19(3) වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය රදවා ගැනීමට අවශ්‍ය අයකු නම් පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.

    • වර්තමාන ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයේ දත්ත පිටුවේ සහ සංශෝධන කිරීම්වලට අදාල පිටුවල සහතික කළ පිටපත්. (අංක 01 සටහන බලන්න.)

    • ස්ථිර වාස විසාවේ සහතික කළ පිටපත. (අංක 01 සටහන බලන්න.)

    • වයස අවුරුදු 16 ට වැඩි අයදුම්කරුවන් ස්ථිර වාස වීසාව දරනු ලබන රටෙන් ලබාගත් පොලිස් නිශ්කාෂණ සහතිකය (අදාල සහතිකය අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දිනට මාස 03කට නොවැඩි කාලයක් තුල ලබාගත් ඉංග්‍රීසි භාෂාවෙන් යුතු සහතිකයක් විය යුතු අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර නොමැති නම් ඉංග්‍රීසි පරිවර්තනය ද සමඟ ඉදිරිපත් කරන්න. )

  4. අයදුම්කරුගේ වයස අවුරුදු 55 ඉක්මවීම මත ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නේ නම් (1.A යටතේ ) අයදුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
     
  5. අධ්‍යාපන / වෘත්තීය සුදුසුකම් යටතේ (1.B යටතේ ) අයදුම් කරන්නේ නම් අදාල අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් වලට අදාල සහතික හෝ ඒවායේ සහතික කළ පිටපත් (අවම අධ්‍යපන සුදුසුකම වශයෙන් එක් අවුරුදු ඩිප්ලෝමාවක් සම්පුර්ණ කර තිබිය යුතුවේ. ඊට වැඩි ඕනෑම අධ්‍යාපන / වෘත්තීය සුදුසුකම් සලකා බැලේ. )
     
  6. ශ්‍රී ලංකාවේ පිහිටි රුපියල් මිලියන 2.5 ක වඩා වැඩි වටිනාකමින් යුතු ස්ථාවර වත්කම් / දේපළ මත අයදුම් කරන්නේ නම් (1.C  යටතේ)  අදාල වත්කම් / දේපළ වලට අදාල ලේඛන වල මුල් පිටපත් සමඟ ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතු ය.  මෙහිදි  අදාල වත්කම් / දේපළ හෝ ඉඩම් වලට අදාල ඔප්පුව, තක්සේරු වාර්තාව සහ හිමිකම් වාර්තාව (පෙලපත් සටහන සමඟ) සකස් කර ඉදිරිපත් කල යුතුය. තක්සේරු වාර්තාව සහ හිමිකම් වාර්තාව (පෙලපත් සටහන සමඟ) සකස් කරන දින සිට මාස 03කට නොවැඩි කාලයක් ඇතුලත අයදුම්පත්‍රය සමඟ භාරදිය යුතුය.  තක්සේරු වාර්තාව තක්සේරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති තක්සේරුකරුවකු විසින් සකස් කල යුතුය. (අදාල දේපල අයදුම්කරුට තෑගි ඔප්පුවකින් ලැබී ඇත්නම් එම තෑගි ඔප්පුව වසර 10 කට පෙර ලියාපදිංචි කල ඔප්පුවක් විය යුතුය.)
     
  7. රුපියල් මිලියන 2.5 ක් හෝ ඊට වැඩි මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත ඕනෑම වාණිජ බැංකුවක වසර 03 ක කාලයක් සඳහා ස්ථාවරව තැන්පත් කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.D යටතේ ) අදාල බැංකුවෙන් එම මුදල වසර 03 ක් ඇතුලත ආපසු නොගන්නා බව තහවුරු කර ලබාගන්නා සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
     
  8. ශ්‍රී ලංකා මහ බැංකුවක අනුමත ඕනෑම වාණිජ බැංකුවක අනේවාසින විදේශ මුදල් ගිණුම් / නේවාසික විදේශ මුදල් ගිණුම් හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ආයෝජන ගිණුමක ඇමෙරිකානු ඩොලර් 25,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වසර 03ක කාලයක් සඳහා ස්ථාවරව තැන්පත් කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.E යටතේ ) අදාල ස්ථාවර තැන්පතු සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.
     
  9. භාණ්ඩාගාර සුරැකුම්පත් (TB)හෝ සුරැකුම්පත් ආයෝජන ගිණුමක (SIA) ඇමෙරිකානු ඩොලර් 25,000 ක් හෝ ඊට වැඩි මුදලක් වසර 03 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආයෝජනය කර ඒ අනුව අයදුම් කරන්නේ නම් (1.F යටතේ ) ඊට අදාල සහතිකය ඉදිරිපත් කළ යුතු වේ.
     
  10.  අයදුම්පත්‍රයේ අංක 1 හි දක්වා ඇති A සිට F දක්වා වු සුදුසුකමක් සපුරණ ලද අයදුම්කරුවකුගේ කලත්‍රයා හෝ වයස අවුරුදු 22කට අඩු අවිවාහක දරුවකු වීම මත පදනම්ව අයදුම් කරන්නේ නම් (1.G යටතේ ) පහත ලේඛන ඉදිරිපත් කළ යුතුය.
     
    1. කලත්‍රයා සඳහා විවාහ සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
       
    2. වයස අවුරුදු 22 කට අඩු අවිවාහක දරුවන් සඳහා,
       
      • දරුවා ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත්නම් දරුවාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ එහි සහතික කළ පිටපත (අංක 01 සටහන බලන්න.)
         
      • දරුවා ශ්‍රී ලංකාවෙන් බැහැරව වෙනත් රටක උපත ලබා ඇත්නම් කොන්සියුලර් උප්පැන්න සහතිකය සහ පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ නිකුත් කරන ලද පුරවැසි සහතිකය හෝ එහි පිටපත (අංක 01 සටහන බලන්න.)
      • දෙමව්පියන්ගේ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත් හා එම වෙනත් රටෙහි වීසා ඉදිරිපත් කල යුතුය.
         
      • වයස අවු 21 මාස 6 ඉකුත්වීමට පෙර අයදුම්පත් ඉදිරිපත් කල යුතුය.
         
      • වයස අවු 21 මාස 6 ඉකුත්වු අයදුම්කරුවන්ගේ අයදුම්පත් 2019.07.01. දින සිට මෙම ගණය යටතේ භාරගනු නොලැබේ.

මෙහිදි කලත්‍රයා හෝ වයස අවුරුදු 22කට අඩු අවිවාහක දරුවන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම් කිරීමට හැකියාව ඇත්තේ 1948 අංක 18 දරණ පුරවැසි පනතේ 19,20 සහ 21 වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇත්නම් හෝ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වීමට ආසන්න තත්වයක සිටින්නේ නම් පමණි.

සටහන :

  1. අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කරනු ලබන ලේඛන සහතික කළ හැක්කේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ නියෝජ්‍ය / සහකාර පාලකවරයාට හෝ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයේ තෙවන ලේකම් හෝ ඊට නොඅඩු නිලයක් දරන අයකුට පමණි.
  2. පරිවර්තිත ලේඛන මුල් පිටපත ලෙස සලකණු නොලැබේ. (උදා : උප්පැන්න සහතික, විවාහ සහතික වල ඉංග්‍රීසි පරිවර්තන හා පොලිස් වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තන ආදිය.)
  3. අදාල පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත හෝ විදේශයන්හී පිහිටි විදේශ දූත මණ්ඩල වෙත අයදුම්කරු විසින්ම භාරදිය යුතුය.
  4. ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ භාෂාවලට අමතර වෙනත් භාෂාවකින් ඇති ලේඛන ඒවායේ ඉංග්‍රීසි පරිවර්තනයන් ද සමඟ ඉදිරිපත් කළ යුතුය.
  5. පහත සඳහන් රටවල් හැර වෙනත් රටක් සමඟ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම්කරන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධයෙන්  නීතිමය බාදාවක් නොමැති බවට අදාල රටේ රජයෙන් නිකුත් කල ලිපියක් ඉදිරිපත් කල යුතුය.
    ඔස්ට්‍රේලියව, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, නවසීලන්තය, ස්විඩනය, ස්විට්සර්ලන්තය, එකසත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාකය, නෝර්වේ, සයිප්‍රස්, වනවාටු ජනරජය

4. අයදුම්පත්‍ර ඉදිරිපත් කළ හැකි පිළිවෙල

නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍ර සෘජුවම අයදුම්කරුට පැමිණ ආගමන හා විගමන පාලක ජනරාල් වෙත හෝ අයදුම්කරු විදේශගතව සිටි නම් තමන් පුරවැසිභාවය / වාස වීසා දරන රටෙහි විදේශ දූත මණ්ඩල වෙත භාරදිය හැකිය. විදේශ දූත මණ්ලය වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් (අංක 03 හි දැක්වෙන ලේඛන වල) විදේශ දූත මණ්ඩල ප්‍රධානියා හෝ ඔහු / ඇය විසින් බලය පවරන ලද දූත මණ්ඩල තෙවන ලේකම් හෝ ඊට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය.  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලබන අයදුම්පත්‍ර සහ ඒවාට අමුණා ඇති සහතික වල ඡායා පිටපත් පුරවැසි අංශයේ නියෝජ්‍ය පාලක හෝ සහකාර පාලක විසින් සහතික කරනු ලැබේ.

දෙපාර්තමේන්තු ලිපිනය

පාලක ජනරාල්,
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,
පුරවැසි අංශය
“සුහුරුපාය“,
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල.
ශ්‍රී ලංකාව

විද්‍යුත් තැපැල : accit@immigration.gov.lk

 
5. ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අදාල ගාස්තු
ප්‍රධාන අයදුම්කරු ඇ. ඩො. 2,000
කලත්‍රයාට ඇ. ඩො.    500
වයස අවුරුදු 22කට අඩු අවිවාහක එක් දරුවකුට ඇ. ඩො.    500
පුරවැසි පනත යටතේ නිකුත් කරන ලබන සහතික වල, සහතික කරන ලද පිටපත් නිකුත් කිරීමේ ගාස්තුව රු.         2,000

ඉහත දක්වා ඇති ගාස්තු අය කරනු ලබන්නේ, අදාල අයදුම්පත්‍ර පරීක්ෂා කර බලා විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර නියමිත අනුමැතිය ලද පසුව වේ. නියමිත ගාස්තු ගෙවීම සඳහා දොපර්තමේන්තුව විසින් අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑල මගින් (e-mail) දැනුම්දීමක් සිදු කරනු ලබන අතර, එම නියමිත ගාස්තුව බත්තරමුල්ල "සුහුරුපාය" ආගමන හා විගමන දෙපර්තමේන්තුවේ 04 වන මහලේ පුරවැසි අංශයේ සරප් වෙත මුදලින් හෝ හර / බැර බැංකු කාඩ්පත් මගින් (ශ්‍රී ලංකා රුපියල්) ගෙවීම සිදු කළ හැකි අතර විද්‍යුත් තැපෑල මගින් ලැබෙන උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමයටද (Online) බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකල හැකිය (ඇමරිකානු ඩොලර් මගින්)

6. ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගත හැක්කේ කෙසේද?

සහතිකපත් සූදානම්වූ පසු ඒ බව විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙනු ලබන අතර අදාල උපදෙස් පරිදි මෙම දෙපාර්තමේන්තුව වෙත පැමිණ සහතිකපත් ලබාගත හැකිය.




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14473954