ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ආගමනය සහ විගමනය සහ පුරවැසිභාවය පිළිබඳ ඉතිහාසය

නිදහස ලැබීමට පෙර ආගමනය සහ විගමනය

(එවකට ලංකාව නමින් හැඳින්වුණු) ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීම සහ ඉන් පිටවීම පාලනය කරනු ලැබුවේ පහත සඳහන් ආඥාපනත්වලිනි.:

  • 1847 අංක 3 දරන ඉන්දියානුවන් ලංකාවෙන් විගමනය වීම පිළිබඳ ආඥාපනත.
  • 1874 අංක 01 දරන විදේශ බඳවා ගැනීමේ ආඥාපනත
  • 1882 අංක 4 දරන ලංකා විගාමික ආඥාපනත
  • 1907 අංක 12 දරන අනාථ විගාමික ආඥාපනත
  • 1917 අංක 22 දරන විගමන ආඥාපනත.
  • 1923 අංක 20 දරන ගමන් බලපත්‍ර ආඥාපනත
  • 1935 අංක 30 දරන විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත.
  • 1939 අංක 19 දරන ඉන්දියානු සාපරාධී ගෝත්‍රිකයන් ආගමනය වීමේ ආඥා පනත.

 

ඉන්දියාවේ හෝ ලංකාවේ සීමාවලින් ඔබ්බෙහි පිහිටි බ්‍රිතාන්‍ය හෝ විදේශීය යටත් විජිතයක කම්කරුවන් වශයෙන් සේවයේ යොදවනු ලැබීම සඳහා සහ කම්කරුවන් වශයෙන් සේවයෙහි යෙදවීම සඳහා එබඳු ඕනෑම යටත් විජිතයකට ලංකාවෙන් පුද්ගලයන් විගමනය කිරීම තහනම් කිරිම සඳහා 1847 වර්ෂයේ ඉන්දියානුවන් ලංකාවෙන් විගමනය වීම පිළිබඳ ආඥාපනත පනවා තිබේ.

විදේශ රාජ්‍යයන්හි සේවය සඳහා ලංකාව තුළ බඳවා ගැනීම් සිදු කිරීම පාලනය කිරීම සඳහා 1874 අංක 01 දරන විදේශ බඳවා ගැනීමේ ආඥාපනත පනවන ලදී, ලංකාවේ සීමාවලින් ඔබ්බෙහි පිහිටි විදේශීය රාජ්‍යවල සේවය කිරීම සඳහා පුද්ගලයන් බඳවා ගැනීම තහනම් කිරීමට හෝ යම් යම් කොන්දේසිවලට යටත්ව එසේ කිරීමට අවසර දීමට ආණ්ඩුකාරවරයාට මේ නීතියෙන් බලය පවරන ලදී.

ලාංකික කම්කරුවන් සේවා කොන්ත්‍රාත්තු යටතේ ලංකාවෙන් විගමනය කිරීම පාලනය කිරීමට 1882 අංක 4 දරන ලංකා විගාමික ආඥාපනත පනවන ලදී. ලාංකික කම්කරුවන්ට විගමනය වීමට ඉඩදිය හැකි ස්ථාන ප්‍රකාශයට පත් කිරීමේ බලය මෙම නීතියෙන් ආණ්ඩුකාරවරයාට පවරන ලදී. එබඳු කොන්ත්‍රාත් ගිවිසුම් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේදී අත්සන් කළ යුතුය යන කොන්දේසියට යටත් විය.

අනාථයින්, සාහසික පුද්ගලයින් සහ නීතියට පටහැනිවූවන් ලංකාවට විගමනය වීම වැළැක්වීමට 1907 අංක 12 දරන අනාථ විගාමික ආඥාපනත පනවන ලදී. මෙම නීතියේ ප්‍රධාන පරමාර්ථය වූයේ භාණ්ඩාගාරයට කරදරයක් විය හැකි පුද්ගලයන් රටට ඇතුළු වීම වැළැක්වීම ය. කායික හෝ මානසික රෝගී භාවය හේතු කොට ගෙන ලංකාවේ ජාතිකයකු හෝ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ජාතිකයකු නොවන්නා වූ ද තමාගේම ශ්‍රමයෙන් තම නඩත්තුව කරගත නොහැකි වූ ද අයෙකුට හෝ අනාථයෙකුට ගොඩ බැසීමට මෙම නීතියෙන්  අවසර දෙන ලද්දේ එකී අනාථ ආගාමිකයා වෙනුවෙන් දරන්නට සිදුවිය හැකි කිසියම් පිරිවැය හෝ ගාස්තු මූල්‍ය ලේකම් වෙත ගෙවන ‍බවට මෙරට වැසියෙකු අත්සන් කරන බැඳුම්කරයක් මත පමණි. කිසියම් ගණිකාවක හෝ ගණිකා වෘත්තියෙන් ජීවත්වන කිසිඳු පුද්ගලයෙකු ලංකාවට ඇතුළු වීම ද මෙම නීතියෙන් තහනම් කර තිබිණි.

දිවයිනෙන් බැහැර නොයෙක් තනතුරුවල සේවයේ නියුක්ත වීම සඳහා ලංකාවෙන් පුද්ගලයන් විගමනය වීම පාලනය කිරීමට 1917 අංක 22 දරන විගමන ආඥාපනත පනවන ලදී. මේ පනතෙහි විගාමිකයා යන්න අර්ථ නිරූපනය කර ඇත්තේ ලංකාවේ වාසය කරන දේශීය තැනැත්තකු වශයෙනි. ඉන්දියානු විගාමිකයකු යන්න අර්ථනිරූපනය කර ඇත්තේ, ඉන්දියානු විගාමිකයන්ට අවසර පත්‍ර නිකුත් කිරීම පාලනය කෙරෙන බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ක්‍රියාත්මක වන කිසියම් නීතියක් යටතේ අවසර පත්‍රයක් ලබා ගෙන ඇති පුද්ගලයකු හැර ඉන්දියාවේ දේශීය පුද්ගලයෙකි. විගාමිකයන් සහ ඉන්දියානු විගාමිකයන් යන දෙවර්ගයම රටින් පිටවී යාම සඳහා ප්‍රධාන ලේකම්ගේ ලිඛිත අනුමැතිය ලබාගත යුතු බවට විධිවිධාන මේ නීති‍යට ඇතුළත් කර තිබිණි. මෙම අනුමැතිය දෙන ලද්දේ වයස අවුරුදු 17ට වැඩි පුද්ගලයන්ට පමණි. රේගු අයකැමිගෙන් අවසර පත්‍රයක් ලබා ගෙන රජය සමග බැඳුම්කරයක් අත්සන් කිරීමට ඔවුන්ට නියම විය. තවද ඔවුන් විසින් රුපියල් තුන්සියයක මුදලක් රේගු අයකැමි වෙත තැන්පත් කල යුතුවිය. රැකියා කටයුතු සඳහා විදේශ ගත වන පුද්ගලයන් ස්වකීය සේවා යෝජකයා සමග සේවා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ යුතු වූ අතර එය රේගු අයකැමි විසින් සහතික කළ යුතු විය. ඊට අතිරේක වශයෙන් නැව්පතියන්ගේ වගකීම්, සෝදිසි කිරීම් සහ අත් අඩංගුවට ගැනීම් පිළිබඳ පොලිස් නිලධාරීන් සතු වගකීම්, වරායේදී කෙරෙන වෛද්‍ය පරීක්ෂණ සහ දඩුවම් කිරීම පිළිබඳ විධිවිධාන ද කීපයක් විය. 

ලංකාවට ඇතුළු වන හෝ ඉන් පිටවන පුද්ගලයන් ගමන් බලපත්‍ර ලබාගත යුතු යයි නියම කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා 1923 අංක 20 දරන ගමන් බලපත්‍ර ආඥාපනත පනවන ලදී. ලංකාවට ඇතුළුවන හෝ ඉන් පිටවන පුද්ගලයන් සතුව විදේශ ගමන් බලපත්‍ර හා ඒහා සම්බන්ධ වෙනත් දේවල් තිබිය යුතුය යි නියම කෙරෙන රෙගුලාසි පැනවීමේ බලතල ආණ්ඩුකාරවරයාට පැවරිණි. එසේම ඕනෑම පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් එම රෙගුලාසිවල ඕනෑම විධිවිධානයකින් නිදහස් කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි. මෙම නීතිය යටතේ සම්පාදිත රෙගුලාසි 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත යටතේ සම්පාදිත නව ආගමන හා විගමන රෙගුලාසි ක්‍රියාත්මක වීම ආරම්භ වන තෙක් 1949 ඔක්තෝබර් 28 වැනි දින දක්වා බලාත්මක විය. 

ලංකාව තුළ සිටින (බ්‍රිතාන්‍ය යටත්වැසියකු හෝ බ්‍රිතාන්‍ය ආරක්ෂිත පුද්ගලයකු ‍නොවන වෙනත්) විදේශිකයන් ලියාපදිංචි  කිරීම සඳහා අවශ්‍ය විධාන සැලසීම පිණිස 1935 අංක 30 දරන විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත පනවන ලදී.  මේ නීතියේ විධිවිධාන යටතේ ආණ්ඩුකාරවරයා විසින් විදේශිකයන් ලියාපදිංචි කිරීමේ නිලධාරියා පත් කරනු ලැබීය. දිවයින තුළ එක් මාසයක් හෝ ඊට වැඩි කාලයක් නැවතී සිටීමට අදහස් කළ ඕනෑම විදේශිකයකු විසින් ලියාපදිංචි කිරීමේ නිලධාරියා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු විය. ‍තව ද දිවයින  තුළ  ගමනාගමනය සීමා කිරීම , විදේශිකයන් පිට කිරීම, වාර්තා වල  නිරවද්‍යභාවය තහවුරු කර ගැනීම යන මේවා පිළිබඳ විධිවිධාන ද එහි ඇතුළත් විය. එහෙයින් එය වත්මනෙහි වීසා තත්ත්වයන්ට බෙහෙවින් සමාන විය.

1939 වර්ෂයේ ඉන්දියානු සාපරාධී, ගෝත්‍රිකයන්ගේ ආගමනය පිළිබඳ ආඥාපනත

ඉන්දියානූ සාපරාධී ගෝත්‍රිකයන් ලංකාවට ඇතුල්වීම සීමා කිරීම අරමුණු කොට ගෙන රාජ්‍ය සභාව විසින් 1939 අංක 19 දරන ඉන්දියානු සාපරාධී ගෝත්‍රිකයන් ආගමනය වීමේ ආඥා පනත පනවනු ලැබ මහරජතුමා විසින් 1939.05.23 වන දින අනුමත කරනු ලැබිණි. මෙම වකවානුවේදී ඇතැම් සාපරාධී ඉන්දියානු ගෝත්‍රිකයෝ සමූහ වශයෙන් සංවිධානය වී ඉන්දියාව තුළ සාපරාධී ක්‍රියාවන්හි නිරතව සිටියහ. පොදුවේ “තග්" වරුන් ලෙස හඳුන්වනු ලැබූ මොවුන් එම වකවානුවේ බල පැවැත්වූ ඉන්දියානු නීතිය මගින් සාපරාධී ගෝත්‍රිකයන් වශයෙන් ප්‍රකාශයට පත්කර ලැබ තිබිණි. මෙම අඥාපනත මගින් එවැනි ගෝත්‍රිකයන් සාපරාධී ගෝත්‍රිකයන් වශයෙන් ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට ආණ්ඩුකාරවරයාට බලය පැවරී තිබිණි. අවසර පත්‍රයක් නොමැතිව එවැනි ගෝත්‍රිකයන් ලංකාවට ඇතුල් වීම තහනම් විය. මෙම අඥාපනත මගින් එබඳු තැනැත්තන් රටින් ඉවත් කිරීම, අත් අඩංගුවට ගැනීම, අනුබල දීමට දඬුවම් හා එවැනි තැනැත්තන්ගේ අඟිලි සලකුණු ලබා ගැනීම පිළිබඳ විධිවිධාන සලසනු ලැබිණි. මෙම සීමා කිරීම් වලට අදාළව නියෝග පැනවීමේ බලය මහලේකම් වරයාට ලබාදී තිබිණි. 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත මගින් මෙම අඥාපනත ඉවත් කරනු ලැබිණි.

1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනත

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලබා ගත් පසු එවකට පැවති පාර්ලිමේන්තුව 1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනත පැනවීය. එය 1948 ඔක්තෝබර් 6 වැනි දින 1* සහතික කෙරුණු අතර 1949 නොවැම්බර් 1 වැනි දා සිට ක්‍රියාත්මක විය. 2* ලාංකිකයන් නොවන අය අතුළු වී නැවතී සිටීම පාලනය කිරීමටත්, ලංකාවේ පුරවැසියන් සහ පුරවැසියන් නොවන වෙනත් පුද්ගලයන් ලංකාවෙන් පිටවී යාම පාලනය කිරීමටත් මෙම පනත යටතේ වැරදි සිදුකොට ඇති පුද්ගලයන් හෝ අවිනීත පුද්ගලයන් රටින් ඉවත් කිරීමට හෝ නෙරපා හැරීමටත්, ලංකාවේ සිටින කාලය තුළ ලාංකික නොවන අයගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමටත් ඉහත කී පරමාර්ථ සහ ඊට ආනුෂංගික වූ ද ඊට සම්බන්ධ වූ ද කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා පරිපාලන ආයතනයක් සංවිධානය කිරීමටත් අවශ්‍ය විධිවිධාන මේ පනතින් සම්පාදනය කරන ලදී. මෙම පනත යටතේ සම්පාදනය කළ රෙගුලාසි 1948 ඔක්තෝබර් 28 වැනි දින නිකුත් වූ අංක 10039 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලදී.3*

1847 අංක 3 දරන ඉන්දියානුවන් ලංකාවෙන් විගමනය වීම පිළිබඳ ආඥාපනත.විදේශ බඳවා ගැනීම් ආඥාපනත. ඉන්දියානු සාපරාධී ගෝත්‍රිකයන්ගේ ආගමනය පිළිබඳ ආඥාපනත අනාථ ආගාමිකයන් පිළිබඳ ආඥාපනත විගමන ආඥාපනත. ගමන් බලපත්‍ර ආඥාපනත, විදේශීකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සහ ලංකා විගාමික ආඥාපනත යන මේවා මෙම නීතියෙන් අවලංගු කරන ලදී. 1948 අංක 20 දරන ආගාමික සහ විගාමික පනත අවස්ථා කිහිපයකදීම 1955 අංක 16, 1961 අංක 68, 1993 අංක 16 . 1998 අංක 42, 2006 අංක 31 සහ 2015 අංක 07  දරන සංශෝධන පනත් මගින් පිළිවෙලින් සංශෝධනය කරන ලදී.

මෙම සංශෝධනවලින් සිදු කරන ලද සුවිශේෂ වෙනස් කිරීම් පහත දැක්වේ.

1955 අංක 16 දරන සංශෝධන පනත මගින් ප්‍රධාන පනතේ තිබුණු ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන්ගේ අවසර පත්‍ර පිළිබඳ විධිවිධාන අවලංගු කොට ඒවා වෙනුවට පදිංචි වීමේ වීසා පිළිබඳ විධිවිධාන ඇතුළත් කරන ලදී.

1961 අංක 68 දරන සංශෝධන පනත මගින්, ආගාමික සහ විගාමික පනත යටතේ බලතල සහ රාජකාරී ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම හමුදාවල ඕනෑම සාමාජිකයකුට පැවරීමේ බලය අග්‍රාණ්ඩුකාරවරයාට දෙන ලදී. මෙම සංශෝධනයේ අරමුණ වූයේ රටට නීතිවිරෝධී ආගාමිකයන් ඇතුළුවීම පැවැත්වීම ය.

1972 දී ලංකාව ජනරජයක් විය. රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙන් වෙනස් කෙ‍රිණි. ඉන්පසු ආගාමික සහ විගාමික පනත පිළිවෙළින් 1993 ,1998, 2006, 2015 යනුවෙන් අවස්ථා හතරකදී සංශෝධනය කර තිබේ. මේ හැම අවස්ථාවක දී ම ශ්‍රී ලංකාවෙන් නීතිවිරෝධී විගාමිකයන් පිටවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී ආගාමිකයන් රැඳී සිටීම ද සීමා කිරිම කෙරෙහි සැලකිල්ල යොමු විය.

2015 අංක 07 දරන සංශෝධන පනත මගින් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා හෝ අලුත් කිරීම සදහා ඉල්ලීමක් කරන යම් තැනැත්තෙකුගෙන් ගමන් බලපත්‍රයට ඇතුලත් කිරීම සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෝ අලුත් කිරීම පවරන ලද අධිකාරිය වෙත බලය පවරා දෙන ලදී.

ඊට අතිරේකව මීට සම්බන්ධ පහත සඳහන් නීති, මෙහි පහත දැක්වෙන සුවිශේෂ කාර්යයන් සඳහා පනවන ලදි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන යම් යම් පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ නැවතී සිටීම සම්බන්ධයෙන් ගණනය කළ බද්දක් නියම කොට අය කිරීමට 1971 අංක 15 දරන තාවකාලික පදිංචිය පිළිබඳ බදු පනත පනවන ලදී.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම නියාමනය කිරීම සහ පාලනය කිරිම සඳහාත් ශ්‍රී ලංකා පුරවැසියන්ට රටින් පිටවීමේ අවසර පත්‍ර නිකුත් කිරීම සඳහාත් විදේශයන්හි සේවයේ යෙදී සිටින ශ්‍රී ලංකා පුරවැසියන් විදේශීය මුදලින් කෙරෙන සිය ඉපැයීම්වලින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම බැඳීමක් වශයෙන් නියම කිරීමටත් 1971 අංක 53 දරන ගමන් බලපත්‍ර (නියාමනය කිරීමේ) සහ පිටවීමේ අවසර පත්‍ර පනත පනවන ලදී.

ඇතැම් වර්ගවල පදිංචිය පිලිබඳ වීසා බලපත්‍ර හිමියන් ඇතැම් බදුවලින් නිදහස් කිරීමට 1979 අංක 06 දරන නේවාසික ආගන්තුක (බදු නිදහස් කිරීමේ) පනත පනවන ලදී. නේවාසික ආගන්තුකයින්ට ඉහත සඳහන් බදු නිදහස් කිරීම ප්‍රදානය කරන ලදී.

 

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව

ආගාමික හා විගාමික පනත පැනවීමත් සමග එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ඉස්මතු විය.  මෙම නව දෙපාර්තමේන්තුව 1949 ඔක්තෝබරයේ දී පිහිටුවන ලදුව කොළඹ කොටුවේ දී කාර්යාරම්භ විය. රාජ්‍යාරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරයා ප්‍රමුඛ ඔහුගේ කාර්ය මණ්ඩලය නව දෙපාර්තමේන්තුවට මාරු කරන ලදී, ක්ෂේත්‍ර රාජකාරී ඉටු කළ පොලිස් දෙපාර්තමේන්තුවෙන් එම කටයුතු අලුතෙන් පිහිටුවනු ලැබූ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින ලදී. නව පනතින් පීඩාවට පත් අයට සහන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කෙරෙන තෙක් නව නීතිය ක්‍රියාත්මක කිරීම 1949 නොවැම්බර් 01 වැනි දින තෙක් කල් තබන ලදී. ශ්‍රී ලංකා පුරවැසියන්ට බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය 1949.11.01 දින සිට නවතා දැමිණි. එතැන් පටන් නව ලංකා ගමන් බලපත්‍රය භාවිතයට පැමිණි අතර එම බලපත්‍රය දරන්නා ලංකා පුරවැසියෙකු වීම අවශය විය.

 

පුරවැසි පනත

නිදහසට පෙර කාලය

නිදහසට පෙර කාලය තුළ බ්‍රිතාන්‍ය කිරීටයට අයත් හෝ ඩොමිනියන් හෝ බ්‍රිතාන්‍ය කිරීටයට අවනත රටවල් තුළ (වෙනත් රාජ්‍යයක නොව) ඉපදුණු හැම පුද්ගලයෙක්ම බ්‍රිතාන්‍ය යටත් වැසියෙක් විය. එනයින්ම මෙරට උපන් ලාංකිකයන් බ්‍රිතාන්‍ය යටත් වැසියන් වශයෙන් සලකනු ලැබූහ. නිදහස ලැබීමට පෙර අවධියේ පනවන ලද ඇතැම් නීතිවල ඔවුන් සඳහන් කර තිබුණේ දේශීය වැසියන් වශයෙනි. එසේ නැතහොත් දේශිකයන් වශයෙනි. මේ අතරතුර එකම නීතියෙහි ඉන්දියානුවන් සඳහන් කර තිබුණේ ඉන්දියානු දේශිකයන්  හෝ බ්‍රිතාන්‍ය ඉන්දියානු දේශිකයන්  වශයෙනි.

1890 අංක 21 දරන දේශියකරණය වීම පිළිබඳ ආඥාපනත

 එම අවධියේ පුරවැසි නීතියක් ක්‍රියාත්මකව නොපැවතිණි. එහෙත් විදේශිකයන් දේශියකරණය වීම පිළිබඳ විධිවිධාන ඇතුළත් 1890 අංක 21 දරන දේශියකරණය වීම පිළිබඳ ආඥාපනත ක්‍රියාත්මකව පැවතිණි. ලංකාව තුළ සැබවින්ම පදිංචිව සිටි ඕනෑම විදේශිකයකුට බ්‍රිතාන්‍ය යටත්වැසියකුට හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිය හැකි විය. මේ නීතිය 1948 අංක 18 දරන පුරවැසි පනතෙන් අවලංගු කරන ලදී.

නිදහසට පසු කාලය

1948 අංක 18 දරන පුරවැසි පනත

ලංකාවේ  පුරවැසිභාවය ඇති කිරීම සඳහාත් ඊට සම්බන්ධ වෙනත් කරුණු සඳහාත් විධිවිධාන සැලසීමට පුරවැසි පනත පනවා එය (නීතියෙන් නියමකරන ලද දිනය වූ) 1948 නොවැම්බර් 15වැනි දින සිට ක්‍රියාත්මක කෙරිණි. පුද්ගලයකුට ක්‍රම දෙකකින් එක් ආකාරයකට ලබාගත හැකි “ලංකාවේ පුරවැසියකුගේ තත්ත්වය” යනුවෙන් හැඳින්වුණු තත්ත්වයක් ඇති කරන ලදී. මෙම ක්‍රම දෙක නම් මෙම පනතින් විධිවිධාන සලසා ඇති පරිදි පරම්පරාවෙන් පුරවැසි අයිතිය ලබාගැනීම හෝ මෙම පනතින් හෝ වෙනත් කිසියම් පනතකින් විධිවිධාන සලසා ඇති පරිදි එම තත්ත්වය ලියාපදිංචි වීම මගින් ලබා ගැනීමට බලය දීමය.

මෙම නීතිය මගින් ආරම්භයේදී විධිවිධාන සලසා තිබුණේ පරම්පරාවෙන් පුරවැසිභාවය ලබා ගැනීම, ලියාපදිංචි වීම මගින් පුරවැසිභාවය ලබාගැනීම සහ පුරවැසිභාවය අහෝසිකිරීම සම්බන්ධයෙනි. ඊට පසු එම පනත, 1950 අංක 40, 1955 අංක 13, 1987 අංක 45 , 1993 අංක 15, 1993 අංක 43 සහ 2003 අංක 16 සංශෝධන පනත්  මගින් සංශෝධනය කරන ලදී.  එම සංශෝධන පනත්  මගින් සදු කරන ලද සුවිශේෂ වෙනස් කිරීම් පහත දැක‍්වේ.

පුරවැසිභාවය නැවත ලබාදීම සහ ද්විත්ව පුරවැසිභාවය පරිසීමා කිරීම පිළිබඳ විධිවිධාන 1950 අංක 40 දරන පනතින් සලසන ලදී.

1987 අංක 45 දරන සංශෝධන පනත පැනවීමත් සමග ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම ආරම්භ විය.

ආගාමික හා විගාමික පනතේ වන 111 කොටස යටතේ නේවාසික ආගන්තුක යෝජනා ක්‍රමයක ලියාපදිංචි වී සිටින පුද්ගලයන් පුරවැසියන් වශයෙන් ලියාපදිංචි කිරීමේ විධිවිධාන 1993 අංක 43 දරන පනතින් සලසන ලදී. ආරම්භයේදී පරම්පරාවෙන් පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතිය පිය පාර්ශවයෙන්  ලැබීමට පමණක් සීමා විය. 2003 අංක 16 දරන පනත පැනවීම මගින් එය පුරවැසි පනතේ නියම කර ඇති දිනයේ (1948-11-15) සිට මව් පාර්ශවයෙන් ලැබීමටද ව්‍යාප්ත කරන ලදී.

 

පුරවැසි අංශය

1948 අංක 18 දරන පුරවැසි පනත යටතේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටුවා තිබුණු පුරවැසි අංශය පසුව ආගමන හා හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අනුබද්ධ කරන ලදී. ඒ අනුව ආගමන හා හා විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු ව්‍යාප්ත විය.

1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්තාන් පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත

පුරවැසි පනත සම්මත වීමෙන් ම කලකට පසු ඉන්දියානු සහ පකිස්තානු පදිංචිකරුවන් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. මෙය කඩිනම් අවශ්‍යතාවයක් ලෙස සලකා 1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්තාන් පදිංචිකරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුව විසින්  සම්මත කරන ලදුව 1949 අගෝස්තු 5 වැනි දා (නියමිත දිනය) 4* සිට ක්‍රියාත්මක විය. පනතේ 5 වැනි වගන්තියට අනුව පනත යටතේ ලියාපදිංචි වීමට සුදුසුකම් ලබන පුද්ගලයන් නියමිත දිනයේ සිට වසර දෙකක් තුල ලියාපදිංචිය සඳහා අයදුම් කල යුතු විය. පසුව මෙම කාලය වසර තුනක් දක්වා දීර්ඝ කරන ලදී. 5* ඉන්දියන් සහ පකිස්තාන් පදිංචිකරුවන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලදුව එහි ප්‍රථම කොමසාරිස් වරයා වශයෙන් වී.එල්.වීරසිංහ මහතා, ඔහු දැරූ පාර්ලිමේන්තු මැතිවරණ කොමසාරිස් ධූරයට අතිරේක වශයෙන් පත් කරනු ලැබීය. පසුව මෙම දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කරන ලදී. ලාංකිකයන් සමග සම්මිශ්‍රණය වීමට අව්‍යාජ කැමැත්තක් දැක්වූ ලාංකික නොවන පුද්ගලයන් කෙරෙහි ලංකාව දැක්වූ ආකල්පය මේ පනතේ විධිවිධානවලින් ප්‍රදර්ශනය වේ. අවිවාහක හෝ දික්කසාද වූ ඉන්දියන් හෝ පකිස්තාන් වැසියකුට 1946 ජනවාරි 1 වැනි දිනට ‍ආසන්න පූර්වයෙන් ලංකාව තුළ අවුරුදු දහයක අඛණ්ඩ පදිංචියක් තිබුණේ නම් ද, විවාහක පුද්ගලයකුට නම් ලංකාව තුළ අවුරුදු හතක පදිංචියක් සහ එදින සිට ඉල්ලුම් පත්‍රයේ සඳහන් දිනය දක්වා ලංකාව තුළ අඛණ්ඩ පදිංචියක් තිබුණේ නම් ද, එම අයට පුරවැසියකු වශයෙන් ලියාපදිංචි වීම සදහා  ඉල්ලුම් කළ හැකි වූ අතර ඔවුනට නීත්‍යානුකූල ජීවනෝපායයන් තිබුණු බවට කොමසාරිස්වරයා සෑහීමට පත් කළ හැකි වූයේ නම් එසේ ලියාපදිංචි විය හැකිව තිබිණි.

නේරු කොතලාවල ගිවිසුම 1954.

1949 අංක 03 පනත යටතේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දී ඇති කාල සීමාව නියමිත දින සිට වසර තුනක් ලෙස නියම කරන ලදී. මේ අතර, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තියට අනුව, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වූ දිනයේ (1950 ජනවාරි 26) ඉන්දියාවෙන් පිටත පදිංචිව සිටි ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා එම රටේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ ලියාපදිංචි විය යුතු විය. කොළඹ සහ මහනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලවල ලියාපදිංචිය සිදු කරන ලදී. නමුත් එකල ලංකාවේ විසූ ඉන්දීය සම්භවයක් ඇති මිලියන 1කට අධික ජනතාවකට පහසුකම් සැලසීමට මෙම සීමිත පහසුකම ප්‍රමාණවත් නොවීය. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා කෙටි කාල සීමාවක් හේතුවෙන්, 1949 අංක 03 පනත යටතේ අයදුම්පත් සඳහා නියමිත කාලසීමාව සපුරාලීමට අපොහොසත් වූ ඉන්දියානු සහ පකිස්තාන සම්භවයක් ඇති බහුතරයකට විසඳුමක් සඳහා තව දුරටත්  බලාපොරොත්තුවෙන් සිටීමට සිදු විය. මෙය විශාල ප්‍රශ්නයක් විය. ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොමැතිව සැලකිය යුතු පිරිසක් තව දුරටත් ලංකාවේ රැඳී සිටියහ.

එම ගැටලුව විසඳීමේ අරමුණින් 1954 ඔක්තෝබර් 9 සහ 10 යන දිනවල නවදිල්ලි නුවරදී සමුළුවක් පැවැත්විණි. එම පුද්ගලයන් ලංකාවේ පුරවැසියන් ලෙස පිළිගන්නා තුරු ඉන්දියාවේ පුරවැසියන් ලෙස තව දුරටත් සිටින බව ලංකා නියෝජිත පිරිසගේ අදහස විය. එබැවින් එම කිසිවකු අදේශිකය යන ස්ථාවරය ලංකා නියෝජිත පිරිස පිළිගත්තේ නැත. ඉන්දීය නියෝජිත පිරිස සිටියේ වෙනත් මතයක ය. ඉහත සඳහන් කළ පුද්ගලයන් ඉන්දීය ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි වී නැත. එබැවින් ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර හෝ අවසරපත්‍ර ළඟ තබාගෙන සිටි හෝ ඉන්දීය ව්‍යවස්ථාවේ 8 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි වී ඇති ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන් පමණක් ඉන්දීය පුරවැසියන් බව ඉන්දීය නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.

අවසානයේ නියෝජිතයන් දෙපිරිසම  එකඟතාවකට පැමිණියහ. 1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්ථාන පදිංචිකරුවන්ගේ පුරවැසි පනත යටතේ අපේක්ෂිත අයදුම්පත් වසර දෙකක් ඇතුළත අවසන් කිරීමට ලංකා නියෝජිත පිරිස එකඟ විය. ලංකාවේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයන්ට තමන් කැමති නම් ඉන්දියානු පුරවැසියන් ලෙස ලියාපදිංචි වීමට පහසුකම් සැලසීමට ඉන්දීය නියෝජිත පිරිස එකඟ විය. ලංකා දූත පිරිස එවකට අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් ද ඉන්දීය දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු විසින් ද මෙහෙයවන ලදී. අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාම 1954 ඔක්තෝම්බර් 10 වැනි දින නවදිල්ලියේ දී ගිවිසුමට අත්සන් තැබූහ. මෙම ගිවිසුම නේරු කොතලාවල ගිවිසුම ලෙස හැඳින්වේ. නමුත් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුණේ නැත. ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ලංකාවේ හෝ ඉන්දියාවේ පුරවැසි අයිතිය නොමැතිව තව දුරටත් ලංකාවේ රැඳී සිටියහ. මෙය 1964 දී අත්සන් කරන ලද ඉන්දියාව සහ ලංකාව අතර සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම නමින් පුළුල් ලෙස හැඳින්වෙන තවත් ගිවිසුමකට මග පෑදීය.

1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්ථාන පදිංචිකරුවන්ගේ පුරවැසි පනතේ විධිවිධාන යටතේ ඉන්දියන් සහ පකිස්තාන් වැසියන් 134,320 දෙනෙකුට ලියාපදිංචියෙන් ලංකා පුරවැසිභාවය පිළිබඳ සහතික නිකුත් කරන ලදී. එම පනත 1950 අංක 37 සහ 1952 අංක 45 දරන සංශෝධන පනත් මඟින් පිළිවෙලින් දෙවරක් සංශෝධනය කරන ලදී. මේ පනතේ ක්‍රියාත්මකභාවය 1962 දී අවසන් විය.

සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම හා 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (ක්‍රියාවට නැඟීමේ) පනත.

නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළු වී මෙරට ජනයා සමග සම්මිශ්‍රණය වූ අය ද ඇතුළුව බ්‍රිතාන්‍ය පාලනය යටතේ නිදහසේ ලංකාවට ඇතුළු වූ ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනක් විය. මෙම ජාතික ගැටළුව වරින් වර බලයට පත් සෑම රජයකම කණස්සල්ලට හේතු විය. ඊට පිළියමක් සොයා ගන්නා අටියෙන් ඉන්දීය රජයත් සමග වරින් වර සාකච්ඡා පවත්වන ලදී. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ලාල් බහදූර් ශාස්ත්‍රී මැතිතුමා සමඟ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිනිය 1964 දී පැවැත් වූ සකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම ගැටලුවට ඓතිහාසික විසඳුමකට එළඹිය හැකි විය. ඒ අනුව 1964 ඔක්තෝබර් මස 30 වන දින ඇති කර ගත් සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම නමින් ප්‍රකට “ඉන්දු - ලංකා සම්මුතිය” අනුව 1964.10.30 දිනට  ස්වාභාවික වැඩිවීම් ද සමග ශ්‍රී ලංකාවේ සිටි රටක් නැති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 975,000 ක් යයි ඇස්තමේන්තු කර තිබිණි. එයින් පුද්ගලයන් 300,000 කට ශ්‍රී ලංකා පුරවැසිභාවය ද, 525,000 කට ඉන්දියා පුරවැසිභාවය  ද, පිරිනැමීමට ද්විපාක්ෂික එකඟතාවකට එළඹිණි. ඉතිරි 150,000 රටවල් දෙක අතර බෙදා ගැනීමට එකඟවෙමින් 1974 දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ඉන්දියානු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනියත් අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. එනයින් ලංකාවට අදාල සංඛ්‍යාව 375,000 ක් වශයෙනුත් ඉන්දියාවට අදාළ සංඛ්‍යාව 600,000 වශයෙනුත් වෙනස් කරනු ලැබිණි. ඒ අනුව 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (ක්‍රියාවට නැඟීමේ) පනත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී. එම පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. එය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ කෙ‍රිණි. ආගමන හා විගමන පාලකවරයා, එම රාජකාරීවලට අතිරේකව ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා වශයෙන් ද පත් කරනු ලැබීය. පුද්ගලයන් 600,000 කට ඉන්දීය පුරවැසිභාවය පිරිනැමීමට ඉන්දියාව එකඟ වුවද ඉන්දීය පුරවැසිභාවය ඉල්ලා සිටියේ 506,000 ක් පමණි. එහෙයින් ශ්‍රී ලංකාව 1986 අංක 05 දරන අදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත පැනවීමෙන් ඉතිරි පුද්ගලයන් 94,000 දෙනාට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීමට භාර ගත්තේ ය. එමෙන්ම දෙරටේ ම පුරවැසිභාවය පිරිනැමීමට එකඟ වූ පුද්ගල සංඛ්‍යාව ඉන්දියාව සඳහා 506,000 ක් වශයෙන්ද, ශ්‍රී ලංකාව සඳහා 469,000 ක් වශයෙන්ද, වෙනස් කරනු ලැබීය. ඒ අනුව ඉහත පනත යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා දීමට එකඟ වූ සංඛ්‍යාවෙන් 1988 වන විට පුද්ගලයන් 236,000 කට ලියාපදිංචියෙන් මෙරට පුරවැසිභාවය ප්‍රදානය කරනු ලැබ තිබුණි. (ඉහත කි පුද්ගලයන් 236,000  ගෙන් පැවතෙන්නන්ද ඇතුළුව 1988 වනවිට පුරවැසි භාවය ප්‍රදානය කරනු ලැබූ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 343985 කි. )

1988 අංක 39 දරන රටක් නැති පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත.

ඉහත සඳහන් පුද්ගලයන් 469,000 අතුරින් ස්වකීය ස්වාභාවික වැඩිවීමේ සංඛ්‍යාව ද සහිත පුද්ගලයන් 236,000 කට ශ්‍රී ලංකා පුරවැසිභාවය 1988 වර්ෂය වන විට ප්‍රදානය කර තිබුණත් තවදුරටත් පුද්ගලයන් 233,000 දෙනෙකුට හා ඔවුන්ගෙන් පැවතෙන්නන්ට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ප්‍රදානය කිරිමට නියමිතව තිබුණි. මෙම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවය පැන නැගුණ බැවින් ඉතිරි පුද්ගලයන් 233,000 දෙනාට සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වර්ධනය වූ අයට ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා 1988 අංක 39 දරන අදේශිකයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත පනවන ලදී. 1964  ඉන්දු- ලංකා ගිවිසුමේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ඉල්ලුම් කළ නමුත් 1988 වන තෙක් එය ලබා ගත නොහැකි වූ ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන්ට මේ පනත ක්‍රියාත්මක වන දින (1988-11-11) සිට නීතිය ක්‍රියාත්මක වීම මගින් ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ප්‍රදානය කෙරිණි. මෙම පනත  යටතේ පුරවැසිභාවය සඳහා හිමිකම් ලබන්නන් හට පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතිකයක් ලබා ගැනීම අනිවාර්යය නොවන අතර පනතේ 4 වගන්තිය අනුව අවශ්‍ය අයෙකුට කොමසාරිස් වෙත ඉල්ලුම් කර පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතිකයක් ලබාගත හැකිය.  ඒ අනුව 2017-12-31 දින වනවිට  පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික 43,788 ක ප්‍රමාණයක් නිකුත්කොට ඇත.

මීට අමතරව 1964 ඔක්තෝබර් 30 සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිකරුවන්  වශයෙන් සිටි ඉන්දීය සම්භවය සහිත වූද, තම පාලනයෙන් පරිබාහිර වූ හේතු මත ශ්‍රී ලංකාව හැර යාමට සිදු වූ ද, දැනට ඉන්දියාවේ පදිංචිව සිටින්නා වූ ද,  පුද්ගලයන්ට ප්‍රධාන නීතිය ආරම්භ වූ දින සිට ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය පිරිනැමිමට 2009 අංක 05 දරන සංශෝධන පනතින් පියවර ගන්නා ලදී. මෙම සංශෝධන පණතේ අරමුණ වුයේ ශ්‍රිලංකාවේ පැවති ජන වාර්ගික අර්බුදය හේතු කොට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ සරණාගතයන් වශයෙන් ඉන්දියාවේ රැඳී සිටින ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තන්ගේ පුරවැසි අයිතිය තහවුරු කිරීමයි.

2003 අංක 35 දරන ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ පනත

සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම හා ඊට අදාලව පසුකාලීනව ගනු ලැබූ තීරණ අනුව ඉන්දීය පුරවැසිභාවය ප්‍රදානය කිරීමට නියමිතව සිටි ඉහත සඳහන් පුද්ගලයන් 506,000 දෙනාගෙන් පුද්ගලයන් 342,000 දෙනෙකුට සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වැඩි වූ පුද්ගලයන්ට ඉන්දියානු පුරවැසිභාවය පිරිනමා 1992 දක්වා ඔවුහු ඉන්දියාවට ආපසු යවනු ලැබූහ. (ඉහත කි පුද්ගලයන් 342000 ගෙන් පැවතෙන්නන්ද ඇතුළුව 1992 12 31 දිනට පෙරලා ආපසු යවනු ලැබූ මුළු පුද්ගලයන් සංඛ්‍යාව 425093 කි. ) 6* ඉතිරි පුද්ගලයන් 164,000 දෙනා සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වැඩි වූ පුද්ගලයන් 1983 දී ශ්‍රී ලංකාවේ පැන නැගුණු ජනවාර්ගික අරගල හේතු කොට ගෙන පැනැනැගුණු ගමනා ගමන ගැටළු සහ තමිල්නාඩුවේ නිවාස ගැටලු නිසා ඉන්දියාවට යැවීමට නොහැකි විය. ඔවුන්ගෙන් සමහර අයට ඉන්දියානු පුරවැසිභාවය පිරිනමා නොතිබිණි. සමහර අයට පුරවැසිභාවය පිරිනමා ගමන් ලියකියවිලි ද නිකුත් කර තිබිණි.  එහෙත් ඔවුහු ද ශ්‍රී ලංකාවේ ම රැඳී සිටියහ. ඔවුනට ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීම සඳහා 2003 අංක 35 දරන පනත පනවන ලදී. මෙම පනත ක්‍රියාත්මක  වූ දින (2003.11.11) සිට නීතිය ක්‍රියාත්මක වීම මගින් ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ඉහත කී 164,000 දෙනා සහ ඔවුන්ගෙන් ස්වාභාවිකව වැඩි වූ පුද්ගලයන්ට පිරිනැමිණි. මෙම පනත  යටතේද පුරවැසිභාවය සඳහා හිමිකම් ලබන්නන් හට පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතිකයක් ලබා ගැනීම අනිවාර්යය නොවන අතර පනතේ 4 වගන්තිය අනුව අවශ්‍ය අයෙකුට කොමසාරිස් වෙත ඉල්ලුම් කර පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතිකයක් ලබාගත හැකිය.  ඒ අනුව 2017-12-31 දින වනවිට  පුරවැසිභාවය තහවුරු කිරීමේ සහතික 585 ක ප්‍රමාණයක් නිකුත්කොට ඇත.

එසේ වුව ද මෙම පනත ක්‍රියාත්මක කිරීමේ දිනය වන විට ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් හෝ ඒ සමාන ලියවිල්ලක් දරන ස්ථිර පදිංචිකරුවකුට  ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය පිරිනැමීම වලංගු වන්නේ, ශ්‍රී ලංකා පුරවැසිභාවය කැමැත්තෙන් ම ලබා ගැනීමේ ස්වකීය චේතනාව දැක්වෙන ප්‍රකාශයක් ඉහත පනතේ දක්වා ඇති උපලේඛනයෙහි සඳහන් විශේෂ ආකෘති පත්‍රයෙහි සඳහන් කොට කොමසාරිස්වරයාට එය ඉදිරිපත් කොට කොමසාරිස්වරයා එය පිළිගත් බව ලිඛිතව දැනුම් දුන් විට පමණි. මෙම පනතේ “කොමසාරිස්” යනුවෙන් අදහස් වන්නේ ඉන්දීය සම්භවය සහිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ය. 2017.12.31 දින වනවිට කොමසාරිස්වරයා  විසින් එබඳු දැනුම් දීමේ ලිපි 73,933 ක් ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර හෝ ඒ සමාන ලියවිල්ලක් දරන ස්ථිර පදිංචිකරුවන් වෙත නිකුත්කොට ඇත.

1964 ඔක්තෝබර් 30 වැනි දින සිට ඉන්දියානු සම්භවයක් සහිතව ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය ලබා සිටියා වූ ද, තම පාලනයෙන් පරිබාහිර වූ හේතු මත ශ්‍රී ලංකාව හැර යාමට සිදු වූ ද,දැනට ඉන්දියාවේ පදිංචිව සිටින්නා වූ ද, පුද්ගලයන්ට සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්ට  ඉහත පනත ක්‍රියාත්මක වූ දින සිට ශ්‍රී ලංකා පුරවැසිභාවය ප්‍රදානය කිරීම සඳහා මෙම පනත 2009 අංක 06 දරන සංශෝධන පනතෙන් එක් වරක් සංශෝධනය කරන ලදී. මෙම සංශෝධන පණතේ අරමුණ වුයේ ශ්‍රි ලංකාවේ පැවති ජන වාර්ගික අර්බුදය හේතු කොට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ සරණාගතයන් වශයෙන් ඉන්දියාවේ රැඳී සිටින ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තන්ගේ පුරවැසි අයිතිය තහවුරු කිරීමයි. මෙම පනත ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඉන්දියානු සම්භවය සහිත පුද්ගලයන් පිළිබඳව දිගු කලක්  තිස්සේ පැවති ගැටළුව නියත වශයෙන් ම විසඳී නිමාවට පත් විය.

පුරවැසිභාවය පිලිබඳ පූර්ව නීති සමග සසඳන විට 1988 අංක 39 දරන පනතේ සහ 2003 අංක 35 දරන පනතේ සුවිශේෂ වෙනස්කම්.

  • පූර්ව නීති සියල්ලට අනුව පුරවැසිභාවය ලබා ගැනීමට සෑම පුද්ගලයෙකුම ඉල්ලුම් කල යුතු වූ අතර නීතිය යටතේ ලියාපදිංචි කිරීම මඟින් එය ප්‍රදානය කළ යුතුව තිබිණි. මේ තත්ත්වය මෙම නීති දෙකෙහි ඉඳුරාම වෙනස් තත්ත්වයක් දැරීය. පූර්ව නීති යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා නොගත් ඒ සඳහා සුදුසුකම් ලබා සිටි සියලු පුද්ගලයන්ට මෙම පනත් මඟින්  ශ්‍රී ලංකා පුරවැසි තත්ත්වය ප්‍රදානය කෙරිණි. ඔවුන්ට එය නිරුත්සාහයෙන්  ලැබුණු බැවින් ඒ සඳහා ඉල්ලුම් කිරීමේ අවශ්‍යතාවක් නොවීය .
  • තව ද ස්වකීය පුරවැසිභාවය සනාථ කිරීමට පුරවැසිභාවය පිළිබඳ සහතික තබා ගැනීමක් අවශ්‍ය නොවීය. පනත් දෙකේම 4 වැනි වගන්තිය යටතේ ඕනෑම කාර්යයක් සඳහා පුරවැසිභාවය පවත්නා බවට බැලූ බැල්මට පෙනෙන සාක්ෂියක් වශයෙන් දිවුරුම් ප්‍රකාශයක් පිළිගැනීමට නියම කැරිණි.

2008 අංක 38 දරණ චීන සම්භවය ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීම.

ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය වීමෙන් පසුව පවා චීන සම්භවයක් සහිත පුද්ගලයන් ටික දෙනෙක් රටක් අහිමි අය වශයෙන් ශ්‍රී ලංකාව තුල ජීවත් වූහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් හෝ ඔවුන්ගේ දෙමව්පියෝ නිදහස ලැබීමට පෙර දෙවන ලෝක යුද්ධ සමය තුල ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අය වෙති. එහෙයින් ඔවුනට 2008 ඔක්තෝබර් 31 දින සිට ලියාපදිංචිය මඟින් ශ්‍රී ලංකා පුරවැසිභාවය පිරිනැමීමට කටයුතු කරන ලදී. කෙසේවෙතත් මෙම පනතේ බලාත්මක කාලසීමාව 2008.10.31 දින සිට අවුරුදු පහක  කාලයක් සඳහා වූ අතර ඒ අනුව එම කාල සීමාව 2013 ඔක්තෝබර් 30 දිනෙන් අවසන් විය. මෙම නීතිය යටතේ ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගැනීමට හිමිකම් ඇති පුද්ගලයකු සිය ඉල්ලුම්පත්‍රය ආගමන හා විගමන පාලක ජනරාල් වෙත ඉදිරිපත් කල යුතු විය. ඉල්ලුම් පත්‍රය පරීක්‍ෂාකර බැලීමෙන් පසු ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විසින් එය අනුමත කිරීම සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර එම අනුමැතිය ලද පසු පනතෙන් නියම කර ඇති පරිදි ඉල්ලුම්කරු විසින් දිවුරුම හෝ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීමට නියමිත විය. ඉන්පසු එදින සිට ඔහු ශ්‍රී ලංකා පුරවැසියකු වශයෙන් සලකනු ලැබිනි.  කෙසේ වෙතත්  මෙම පනතේ වලංගු කාල සීමාව මේ වන විට ඉකුත් වී ඇති බැවින් චීන සම්භවයක් සහිත පුද්ගලයන්ට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට අදාලව අයදුම්පත් භාර ගැනීම සිදු කරනු නොලැබේ. පනතේ බලාත්මක කාලසීමාව අවසන් වු  දිනය (2008.10.30) වන විට ළමයින්ද ඇතුළුව චීන සම්භවය ඇති පුද්ගලයන් 94 දෙනෙකු වෙත  ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කර ඇත.

ඒ අනුව ඉහත නීතිය පැනවීමත් සමඟ ශ්‍රී ලංකාවේ රටක් නැති අය පිළිබඳ ගැටළු විසදී නිමාවට පත් විය.

තොරතුරු මුලාශ්‍ර

1* 1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත මුල් පිටුව.

2* ලංකා සංක්‍රමණ කාර්ය පටිපාටි සංග්රහය 1958 පිටු අංක 5.

3* ආගාමික හා විගාමික නියෝග අංක 63, 1956.

4*1949 අංක 3 දරන ඉන්දියානු සහ පකිස්ථාන පදිංචිකරුවන්ගේ පුරවැසි පනතේ 24 වන වගන්තිය

5*1993 ශ්‍රී ලංකා සංක්‍රමණ පාලන කාර්ය පටිපාටි සංග්‍රහයේ පිටු අංක 45

6* 1992 වර්ෂය සඳහා ආගමන විගමන පාලක හා ඉන්දියානු මුලෝත්පත්තිය ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්ගේ වාර්තාව 11 පරිශිෂ්ටය..




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
13893574